අවාසනාවන්ත ඉරණමක් පරිසරයට ආශිරවාදයක් කරගත් ව්‍යාපාරය

අනාගතයේ යම් දිනක හදිසියේ සිදුවන අනතුරකින් ඔබට එක් තැනකට වී සිටීමට සිදු වුවහොත් ඒ කාලය අතරතුර ඔබ කෙසේ හැසිරේවිද? එම කාලය තුල තමාට උදා වූ ඉරණම පිළිබඳ සිතමින් කල් මරනවාද? එය ඵලදායී ලෙස ගත කිරීමට උත්සහ කරනවාද? එවැනි කටුක අත්දැකීමක් තමන්ව සේම තමන් ජීවත් වන පරිසරයද රැකගත හැකි ක්‍රියාවකට යොමු කිරීමට පුද්ගලයෙකු උත්සහ කරන්නේ නම් එය කෙතරම් අගය කල යුතුද?

අද zeroplastic හරහා වාර්තා කරනනේ ඓලෙස තමන්ට සිදු වූ කණගාටුදායක ඉරණම තමන්ට සේම පරිසරයටද ආශිර්වාදයක් කරගනිමින් ආරම්භ කල ව්‍යාපාරයක් පිලිබදවයි.

මේ ප්ලාස්ටික් වලින් තොර පරිසර හිතකාමී නිර්මාණයන් වෙලදපොලට ලබාදෙන ” Hera Products” පිලිබදවය.

මහනුවර සංඝරාජපුර පදිංචි, සහකාර විදුහල්පතිවරයෙකු ලෙස සේවය කල හේරත් බංඩා මහත්මයාට මීට අවුරුදු තුනකට පෙර අවාසනාවන්ත ලෙස සිදුවන හදිසි අනතුරකින් පසුව ඇවිදීමේ අපහසුතාවයෙන් එක් තැනකට වී සිටීමට සිදු වුනේය. රාජකාරි බහුල තනතුරක් දැරූ හේරත් මහතාට එක් තැනකට වී කාලය ගත කිරීම මහත් වූ කණස්සල්ලට හේතුවක් විය. මේ කාලය අතරතුර පොල් කටු සහ විවිධ ලී වර්ග භාවිතා කර නොයෙකුත් නිර්මාණ සිදු කිරීමට ආරම්භ කරන්නේ මෙම කණස්සලු ස්වභාවයෙන් මිදීමටය.

තම පියා සිදු කරන මෙම අපූරු කාර්යයට වටිනාකමක් දීමේ අරමුනින් පවුලේ සියලු දෙනාගේම සහයෝගයද ඇතිව විශ්වවිද්‍යාල ශිශ්‍යාවක් වූ හේරත් මහතාගේ දියණිය වූ ගයනි හේරත් විසින් මෙම නිර්මාණයන් යොදා ගනිමින් “Hera Product” නමින් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කලාය.

“Hera Product” තුලින් මේ වනවිට ප්ලස්ටික් භාවිතයෙන් තොරව නිශ්පාදනය කරන මුලුතැන් ගෙයි උපකරණ සහ ආලින්දයට අවශ්‍ය විවිද වූ නිර්මාණයන් සහ විසිතුරැ භාණ්ඩ ලබාගැනීමේ හැකියාව ඇත. මොවුන් මෙම නිර්මාණයන් සදහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ පොල්කටු සහ විවිධ ලී වර්ගයි. මෙහි සියලු නිශ්පාදනයන් සිදුවන්නේ පවුලේ සියලු දෙනාගේ සහයෝගයෙනි. අන්තර්ජාලය හරහා ඇණවුම් ලබාගෙන තම නිශ්පාදනයන් පාරිභෝගියාගේ ලගටම සැපයීම මොවුන් මේ වන විට සිදු කරමින් පවතී. වර්තමානයේ පවතින වසංගත තත්වය හමුවේ තරමක පසුබෑමකට ලක් වුවද පවුලේ සියලු දෙනාගේම සහයෝගයෙන් මෙම ව්‍යාපාරය ඉදිරියටම සිදු කරගෙන යාම මොවුන්ගේ බලාපොරොත්තුවයි. ඉදිරියේ දී පොල් කටු හා ලී වර්ග භාවිතා කර විසිතුරු භාණ්ඩ ඇතුලුව විවිධ වූ නිශ්පාදනයන් වෙලදපොලට නිකුත් කිරීමටද “Hera Product” අපේක්ෂාවෙන් සිටියි.

නමුත් වර්තමානයේ මොවුන්ට ඇති ප්‍රධානම ගටලුව වන්නේ තම නිශ්පාදනයන් ප්‍රමාණවත් වූ මුදලකට අලෙවි කරගැනීමට අපහසු වීමයි.මෙයට මූලිකම හේතුව වන්නේ බොහොමයක් දෙනා අඩු මුදලට, පවතින ප්ලාස්ටික් නිශ්පාදන වලට නැඹුරු වී තිබීමයි.

පරිසරයට අහිතකර ක්‍රියාවලින්ගේ ප්‍රතිඵලයන් නොඅඩුවම භුක්ති විදින මෙවැනි කාල වකවානුවක පරිසරයට හිතකාමී ප්ලස්ටික්වලින් තොර නිශ්පාදනයන්ට ඔබ අතහිත දෙනවාද නැතහොත් ලැබෙන සුලු ලාභය උදෙසා පරිසරයට අහිතකර ප්ලාස්ටික්ම භාවිතා කරනවාද යන තීරණය ඔබ සතුයි.

සමෝදිකා මහවඩුගේ
පරිසර සංරක්ශණය සහ කළමණාකරණය
විද්‍යා පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය

Shopping Cart