විෂ දුමෙහි සැඟවුණ විෂ ප්ලාස්ටික් පිළිබඳ දැනුවත් වෙමු.

විෂ දුමෙහි සැඟවුණ විෂ ප්ලාස්ටික් පිළිබඳ දැනුවත් වෙමු.

ලෝක දුම්වැටි විරෝධී දිනයමැයි 31 වනදාය. “Commit to Quit” මෙවර ලෝක දුම්වැටි විරෝධී දින තේමාව වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.
එම සංවිධානයේ දත්ත වලට අනුව දුම්වැටි භාවිතය හේතුවෙන් සෑම තත්පර 4 ක ටම වරක් පුද්ගල ජීවිතයක් අහිමි වන බව දැක්වේ. එමෙන්ම වාර්ෂිකව මිලියනයක පමණ පිරිසකට නොදැනුවත්වම අක්‍රිය දුම් පානය නිසා සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. වර්තමානයේ ඉතා බහුලව හඳුනාගත හැකි හෘදයාබාධ , දියවැඩියාව , ශ්වසන රෝග වැනි බෝ නොවන රෝග ඇති කිරීම සඳහාද දුම්වැටි ප්‍රබල හේතුවක් බවට පත්ව ඇත.
නමුත් ZeroPlastic අපගේ මෙහෙයුමට දුම්වැටි ප්‍රශ්නය අදාළ වන්නේ කෙසේද?

“Cigarette Butt” නොඑසේ නම් සිගරට් කොටයකින් අපගේ ස්වභාවික පරිසරයට වන හානිය පිළිබඳ ඔබ ඇතැම්විට ඔබ නොදන්නවා විය හැකිය. ලෝකයේ බහුලතම ප්ලාස්ටික් අපද්‍රව්‍යය කුමක්ද යැයි ඇසුවහොත් බොහෝ දෙනා අනුමාන කරන්නේ එය ප්ලාස්ටික් බෝතල් හෝ බීම බට විය හැකි බවයි. නමුත් ලෝකයේ ඉතා බහුලතම ප්ලාස්ටික් අපද්‍රව්‍යය වන්නේ වන්නේ “Cigarette Butts” බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි (UNEP) වාර්තා හෙළි කරයි. එමනිසා, දුම් පානයෙන් සිය ජීවිතය හා සිය සමීපතමයෙන්ගේ ජීවිත අළු කරන පුද්ගලයකු විසින් ඉවතලන සිගරට් කොටයකින් තවත් දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිතද අකාලයේ මිලින වී යා හැකිය.

සිගරට් වල පෙරහන (filter) කොටස සමන්විත වන්නේ ස්වභාවිකව දිරාපත් විය හැකි කඩදාසි සහ පුළුන් මඟින් බව බොහෝ දෙනා දුර්මතයක පසුවෙති. සැබවින්ම ” Cigarette Butts ” වල පෙරහන (filter) කොටස සමන්විත වන්නේ සෙලියුලෝස් ඇසිටේට් වර්ගයේ සිහින් ප්ලාස්ටික් තන්තු වලිනි.
සෙලියුලෝස් ඇසිටේට් යනු ස්වභාවික ප්ලාස්ටික් ආකාරයක් වුවද ඒවා දිරාපත් වීම සඳහා සුවිශේෂී තත්ත්ව කිහිපයක් අවශ්‍ය වේ. නොඑසේ නම් ඒවාද සාමාන්‍ය අප දන්නා ප්ලාස්ටික් මෙන්ම තවත් එක් පරිසර දූෂකයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ මෙම ප්ලාස්ටික් සහිත ” Cigarette Butts” කොටස් දිරාපත් වීම සඳහා වසර 10 ක් හෝ ඊට වඩා ගතවන අතර, එයින් ඇති කෙරෙන අහිතකර බලපෑම් තවත් දශක ගණනාවකට පරිසරයේ ඉතිරි වේ.

“Cigarrete Butts” තුළ පවතින සිහින් ප්ලාස්ටික් තන්තු ඉතා පහසුවෙන් අතිශයින්ම කුඩා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බවට පත් වී පස, ජලය සහ වාතයටද මුසු වේ. එසේම මෙම විෂ සහගත ප්ලාස්ටික් සමඟ ඊයම්, ආසනික්, නිකොටින් යනාදියද ක්‍රමයෙන් ස්වභාවික පරිසරය වෙත මුදාහැරේ.
මෙමඟින් ජෛව හායනය ඇතිවීම සිදුවන අතර අවසානයේ පරිසර පද්ධති සමතුලිතතාවය බිඳ වැටේ. ශාක වර්ධනය ඇණ හිටීම හෝ අඩාළ වීම එහි එක් ආකාරයකි. එහි තවත් පැතිකඩක් වන්නේ,
සාගර , කලපු සහ අභ්‍යන්තර ජලාශ වල පාවෙන මෙම “Cigrrette Butts” ඉතා පහසුවෙන්ම ජලජ ජීවීන්ගේ ආහාර බවට පත්වීමයි. අනතුරුව, මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජීරණය කරගැනීමට නොහැකි වීම නිසා ඔවුහු මියැදෙති.
එසේම ජලජ පරිසරය තුළදී උෂ්ණත්වය සහ ජල තරංග හමුවේ ඛණ්ඩනය වන “Cigarette Butts” , ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බවට පත්වීම නිසා ආහාර දාම සහ ජාල ඔස්සේ එක්රැස් වේ. වර්තමානය වන විට මිනිසා සතියකදී බැංකු කාඩ්පතක් හා සමාන ප්‍රමාණයක ප්ලාස්ටික් නොදැනුවත්වම ආහාර, ජලය මෙන්ම වාතය හරහා ශරීරගත කර ගන්නා තත්ත්වයට ඇද දැමීමට මෙම කුඩා සිගරට් කොට ද දායක වී ඇති බව එමඟින් මනාව පැහැදිලි වේ.

මේ අනුව, “Cigarrette Butts” මඟින් ඇති කෙරෙන ප්ලාස්ටික් හා සම්බන්ධ පරිසර දූෂණය ඉතා බරපතළ වූවක් බව ඉතා හොඳින් පැහැදිළිය. ලෝකයේ ප්‍රමුඛතම ප්ලාස්ටික් අපද්‍රව්‍යය වන්නේද ” Cigarette Butts ” වුවත් ඒ සම්බන්ධව යොමුව ඇති අවධානය අනෙකුත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය හා සැසඳීමේදී ඉතා අවමය. එයට හේතුව වන්නේ පරිසර දූෂකකාරකයක් ලෙස මෙම ” Cigarette Butts ” පිළිබඳ එතරම් අවබෝධයක් බොහෝ දෙනා තුළ නොපැවතීමයි.
එමනිසා නිසි අවබෝධය හා දැනුම ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීම , දුම්පානයෙන් බැහැර වීම මෙන්ම, නිසි කසළ බැහැර කිරීම සහ කළමනාකරණය තුළින් ද විෂ දුම තුළ සැඟවුණු මෙම ප්ලාස්ටික් පිළිකාව ඉතා පහසුවෙන් පාලනය කළ හැකි වන අතර ඒ සඳහා ලෝක දුම්වැටි විරෝධී දිනය නව ආරම්භයක් බවට පත් කර ගනිමු.

සංඛ්‍යාලේඛන සහ තොරතුරු UNEP සහ www.earthday.org වෙබ් අඩවි ඇසුරිනි.

 

ප්‍රදීප් නිමන්ත